• Rs.

පරිසර පද්ධති සුරකිමු - තිරසර සංවර්ධනයේ කොටස්කරුවෝ වෙමු

(2021 ලෝක පරිසර දිනය නිමිත්තෙනි.)

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජුනි 05 ලෝක පරිසර දිනය ලෙස ප‍්‍රකාශයට පත්කර ඇත. ලෝක පරිසර දිනය සැමරීම සංවිධානය හා මෙහෙයවීම සිදුකරනු ලබන්නේ, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP)  මඟිනි. ‘මානව පරිසරය’ පිළිබඳව 1972 වර්ෂයේදී ස්වීඩනයේ ස්ටොක්හෝම්හි පැවැති සුවිශේෂී වූ සමුළුවේ සමාරම්භය සමරනු පිණිස මෙම ලෝක පරිසර දිනය ප‍්‍රකාශයට පත් කෙරිණි. ලෝක පරිසර දිනය ප‍්‍රකාශයට පත්කිරීමේ අරමුණ වූයේ, පාරිසරික ගැටලූ කළමනාකරණය කරමින් පරිසර සංරක්ෂණය සඳහා ඒ ඒ රටවල ආණ්ඩුවල අවධානයත්, මහජනතාව දැනුම්වත් කරමින් මහජන ක‍්‍රියාකාරීත්වය ඉහළ මට්ටමින් ලබා ගැනීමත් සඳහාය.

පරිසර පද්ධති ප‍්‍රතිෂ්ඨාපනයේ වැදගත්කම

මෙවර ලෝක පරිසර දින සැමරුම් වැඩසටහනේ සත්කාරක රාජ්‍ය,  පාකිස්ථානය වන අතර, සැමරුම් තේමාව වන්නේ, පරිසර පද්ධති ප‍්‍රතිෂ්ඨාපනයයි. (Ecosystem Restoration) ප‍්‍රතිෂ්ඨාපනය යන්නෙන් අදහස් වන්නේ, දූෂිත වී හෝ හායනයට පත් පරිසර පද්ධති නැවත යථා තත්ත්වයට පත් කිරීමයි. වනාන්තර, ගංගා, තෙත්බිම්, මුහුද, මෝය, වෙරළ, කොරල්පර, කඩොලාන, තණබිම්, පීට් ඉඩම් ආදිය ස්වභාවික පරිසර පද්ධති ලෙස හැඳින්විය හැකිය. ගහකොළ, සතා, සීපාවාගේ සිට මනුෂ්‍යයින් වන අපගේ ජීව පැවැත්මට අවශ්‍ය පරිසර පද්ධති සේවා මෙන්ම, මනුෂ්‍ය දියුණුවට අවශ්‍ය විවිධ සම්පත් සපයා දෙන්නේ මෙකී පරිසර පද්ධතීන් මඟිනි. එබැවින් පරිසර පද්ධති සංරක්ෂණය කිරීම අපගේ ජීව පැවැත්ම සහතික කරගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වේ. මෙවර ලෝක පරිසර දින තේමාව මඟින් කියා සිටින්නේ, මානව ක‍්‍රියාකාරීත්වය නිසා මේ වන විට පරිසර පද්ධති දුෂණයට හා හායනයට පත්ව ඇති බවත්, මිහිමත අප සැමගේ යහපැවැත්ම සඳහා ඒවා නැවත යථා

තත්ත්වයට පත් කරමින් සාමාන්‍යකරණයට ලක්කිරීම අත්‍යවශ්‍ය බවත්ය. වනාන්තර විනාශය, ගොඩබිම් හා සමුද්‍රීය ප‍්‍රදේශයන්හි අක‍්‍රමවත් භූමි පරිහරණය, දැරිය නොහැකි අධි පරිභෝජනය, අවිධිමත් පොලිතීන් ප්ලාස්ටික් බැහැරලීම, දේශගුණික විපර්යාස, කෘෂි රසායනික භාවිතය ඇතුළුව විවිධාකාරයෙන් සිදුවන පරිසර දූෂණය, ආක‍්‍රමණශීලී ශාකවල වේගවත් ව්‍යාප්තිය යනාදිය පරිසර පද්ධති පිරිහීමට හේතුවී ඇති බව විද්‍යාත්මක අධ්‍යයන වාර්තා සඳහන් කරයි. පෘථිවියේ භෞතික හා ජලජ පද්ධති භෞතික හා රසායනික වශයෙන් එක්සේසත් කර එනම්; කාබන් චක‍්‍රය, ජල චක‍්‍රය, නයිට‍්‍රජන් චක‍්‍රය හා උෂ්ණත්වය යනාදිය සමතුලිතව පවත්වා ගනිමින් අපට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරන්නේ ජෛව විවිධත්වයයි.

වත්මන් පරිසර ගැටලූව හා විපත්

ව්‍යාපාරික කෘෂිකර්මාන්තය මෙන්ම ව්‍යාපාරික සත්ව පාලනය හේතුවෙන් ස්වභාවික වනාන්තර විනාශයට ලක්වේ. අවිධිමත්ව සිදුවන වන විනාශය නිසා සතුන් හා මනුෂ්‍ය ජනාවාස සමීප වේ. එහිදී සතුන් හා මිනිසා අතර, ගැටුම් මෙන්ම සතුන් තුළ වැඩෙන ව්‍යාධිකාරක වෛරස් හා අනෙක් ක්ෂුද්‍ර ජීවීන් මනුෂ්‍යා වෙත පහසුවෙන් සම්පේ‍්‍රෂණය වීමෙන් මනුෂ්‍ය ජීවිත අවදානමට ලක්වේ. මෑත කාලයේදී ලොව පුරා විවිධ ප‍්‍රදේශ හරහා පැතිරුණු Ebola, Sika, SARS, MERS හා Covid 19 වැනි වෛරස් රෝග කලින් කල මතුවීම සඳහා වන විනාශය මෙන්ම ජෛව විවිධත්වය ක්ෂයවීම බලපා ඇති බව විද්‍යාත්මක වාර්තා සඳහන් කරයි. ගෝලීය උණුසුම හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාස නිසා නියඟය, ගංවතුර, නායයෑම්, වසංගත රෝග, කුණාටු, සුළි සුළං, ලැව්ගිනි, මුහුදු ඛාදනය, රට අභ්‍යන්තරයට කරදිය ගලාඒම, භවභෝග විනාශය, පරිසර පද්ධති මෙන්ම ජෛව විවිධත්වය හායනය ආදී විපත් හටගනී. ගෝලීය උණුසුම ඇතිවීමට හේතු වන්නේ මානව ක‍්‍රියාකාරකම් නිසා වායුගෝලයට නිකුත් කරන කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය ඉහළ යෑමයි. ගෝලීය උණුසුම අවම කිරීම සඳහා බලශක්තිය භාවිතය අවම කිරීම, සකසුරුවම් භාවිතයට හුරුවීම, බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, දෙමුහුන් වාහන භාවිතය, අනෙකුත් වාහන සඳහා ඉන්ධන කාර්යක්ෂම උපකරණ සවිකරගැනීම,  CFL - LED  භාවිතය, වායූ සමීකරණ යන්ත‍්‍රය සෙල්සියස් අංශක 26 මට්ටමට තබාගැනීම, අධිපරිභෝජනයෙන් වැළැකීම ආදී පරිසර හිතකාමී සම්පත් සංරක්ෂණ පිළිවෙත්වලට යොමු වීමෙන් අපට ඒක පුද්ගල කාබන් නිකුතුව අවම කරගනිමින් ගෝලීය උණුසුම පාලනය සඳහා දායක විය හැකිය. ”ජර්මන් වොච්” ගෝලීය දේශගුණික අවදානම් දර්ශකය අනුව, දේශගුණික පීඩාවලට ගොදුරුවීමේ අවදානම ඇති රටක් ලෙස ලංකාව ශ්‍රේණිගත කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් ලංකාවට දේශගුණික අවදානම් අවම කරගැනීම සඳහා ව්‍යාපෘති ගණනාවක් ඔස්සේ ආධාර පහසුකම් සැපයේ. මෙහිදී විපත් අවදානම් ප‍්‍රදේශවල අඩු ආදායම්ලාභීන්ගේ ජීවන මාර්ග සුරක්ෂිත කිරීම, හරිතාගාර වායූ විමෝචනය අඩුකිරීම, හරිත තාක්ෂණය ප‍්‍රවර්ධනය, තිරසර ජල සම්පත් කළමනාකරණය, තිරසර ඉඩම් කළමනාකරණය, ආපදා අවදානම් කළමනාකරණය, දේශගුණික විපර්යාස සඳහා අනුවර්තන ක‍්‍රියාමාර්ග දිරිගැන්වීම යනාදී ක්ෂේත‍්‍ර ඔස්සේ එක්සත් ජාතීන්ගේ පහසුකම් සැපයේ.

පරිසර පද්ධති ප‍්‍රතිෂ්ඨාපන දශකය හා කාර්යභාරය

මානව ක‍්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන පරිසර පද්ධති පිරිහීම මඟින් ජෛව විවිධත්වය විනාශය මේ ආකාරයට ඉදිරියටත් සිදු වුවහොත් 2030 වන විට ලෝක ජනතාව විසින් සැපිරිය යුතු තිරසර සංවර්ධන ඉලක්ක 75% පමණ සම්පූර්ණ කරගැනීමට අපහසුවීමේ අවදානමක් ද පවතින බවට විද්වතුන් අනතුරු හඟවයි. එබැවින් පාරිසරික පිරිහීම වළක්වා ගැනීම සඳහා එක්සත් ජාතීන් විසින් 2021 න් ආරම්භ කෙරෙන ඉදිරි දශකය ”පරිසර පද්ධති ප‍්‍රතිෂ්ඨාපන දශකය” (Decade On Eco System Restoration) ලෙස නම් කර ඇත. ඒ අනුව, ඉදිරි දශකයේදී ශ‍්‍රී ලංකාවේ අප ද ඇතුළුව ලෝක ජාතීන් විසින් පරිසර පද්ධති ප‍්‍රතිෂ්ඨාපනයට කැපවිය යුතුවේ. වන ප‍්‍රතිෂ්ඨාපනය මෙහිදී හඳුනාගෙන ඇති ප‍්‍රධාන කාර්යයකි. ඒ සඳහා
Bon Challenge - 2011 හාNew York Statement - 2014 මඟින් ඉදිරි දශකය තුළ ලෝකය පුරා ඒ ඒ රටවල් සහභාගී කර ගනිමින් හෙක්ටයාර මිලියන 350 ක පමණ වනාන්තර ප‍්‍රතිෂ්ඨාපනයට කටයුතු යොදා ඇත. ජෛව විවිධත්ව සම්මුතිය මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියට ද ශ‍්‍රී ලංකාව බැඳි ඇති බැවින් ගෝලීය වන ප‍්‍රතිෂ්ඨාපන කාර්ය භාරය තුළ ශ‍්‍රී ලංකාවේ මැදිහත්වීම වන්නේ වන වියන 32% දක්වා වැඩි කිරීමට පියවර ගැනීමයි. දැනටමත් හඳුනාගත් ලඳු කැලෑ හා මුඩුබිම්වල නැවත මිශ‍්‍ර වන වගාව ඇති කිරීම ආරම්භ කර ඇත. ”හුස්ම දෙන තුරු” ජාතික රුක්රෝපණ වැඩසටහන ඔස්සේ රුක්රෝපණය සඳහා මහජනතාව සහභාගී කර ගැනීම ද මේ වන විට සිදු වෙමින් පවතී. සිසු දරුවන් ක‍්‍රියාකාරීව රුක්රෝපණයට සහභාගී කර ගැනීම සඳහා ”සිසුතුරු උදාන” නමින් ජාතික වැඩසටහනක් ඇරඹීමට ද කටයුතු සංවිධානය වෙමින් පවතී.

සුරකිමු ගංගා - ප‍්‍රතිෂ්ඨාපන වැඩසටහන

වත්මන් රජයේ පරිසර ප‍්‍රතිපත්තිය ප‍්‍රකාරව පරිසර අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව ආරම්භ කරන ලද ”සුරකිමු ගංගා” වැඩසටහන ගංගා පරිසර පද්ධති ප‍්‍රතිෂ්ඨාපනය කෙරෙන ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහනක් ලෙස හැඳින්විය හැකිය. මෙම වැඩසටහන මඟින් කාලයක සිට විවිධ මානව ක‍්‍රියාදාමයන් හේතුවෙන් හායනයට පත් වූ ගංගා නැවත පුනරුත්ථාපනය කෙරේ. ගං ඉවුරු සංරක්ෂණ කලාප ලෙස නම් කෙරෙන අතර, ගංගාවලට විවිධ රසායන හා වෙනත් අපද්‍රව්‍ය බැහැරලීම වළක්වාලීම හා පාලනය, වැලි ඇතුළු ඛනිජ සම්පත් කැණීම් නියාමනය, ගං ඉවුරු ඛාදනය මෙන්ම ගංග ඉවුරු ආශ‍්‍රිතව අනවසර ඉදිකිරීම් වැළැක්වීම, ගංගා ජලයට මුහුදු ජලය එක්වීම වැළැක්වීම, ආක‍්‍රමණික ශාක ව්‍යාප්තිය පාලනය ආදී වශයෙන් සංරක්ෂණ කාර්ය ගණනාවක් ”සුරකිමු ගංගා” වැඩසටහන මඟින් සිදුකෙරේ.

වැදගත් ප‍්‍රතිෂ්ඨාපන/ සංරක්ෂණ කාර්යයන්

පරිසර පද්ධති සංරක්ෂණයේදී වන වගාව දිරිමත් කිරීම, විවිධ ක‍්‍රියාවන් සඳහා ඉඩම් යොදාගැනීමේදී පරිසර හිතකාමී භාවිතයන්ට යොමු වීම, වැව් පද්ධති පුනරුත්ථාපනය කිරීම, සාම්ප‍්‍රදායික ඥානය එකතු කිරීම හා ඒවා පරිසර පද්ධති සංරක්ෂණයට යොදාගැනීම, කෘෂි රසායනික භාවිතයෙන් වැළකී කාබනික ගොවිතැනට පිවිසීම, පුනර්ජනනීය බලශක්තියට යොමුවීම, ජලපෝෂක මෙන්ම දියඇළි, උල්පත්, සංරක්ෂණය කිරීම ද ඉතා වැදගත් වේ. ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති පරිසරට හිතකර ලෙස පවත්වාගෙන යෑමට මඟ පෙන්වීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය ”පරිසර බලපෑම් ඇගයීමේ ක‍්‍රියාවලියට අනුගතව නිසි අනුමැතිය ලබාදෙන අතර, පරිසර ආරක්ෂණ බලපත‍්‍ර ක‍්‍රියාවලිය මඟින් කාර්මික දූෂණය පාලනය කරමින්, පරිසර පද්ධති ආරක්ෂා කරයි. මානව සෞඛ්‍යයට හා පරිසර පද්ධතිවලට වන බලපෑම අවම කිරිමේ අරමුණින් එක්වරක් පමණක් භාවිතා කර ඉවතලන පොලිතීන් ප්ලාස්ටික්, නිෂ්පාදන ගණනාවක් පියවරෙන් පියවර තහනමට ලක්කර ඇත. අවිධිමත්ව පරිසර පද්ධති පූරා බැහැරලන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැුස් කර ප‍්‍රතිචක‍්‍රීකරණ ක‍්‍රියාවලියට යොමු කිරීමට ද පියවර ගෙන ඇති අතර, පරිසර සංරක්ෂණය සඳහා ජනතාව දිරිමත් කිරීමටත්, පරිසර ගැටලූ හා විනාශකාරී සිද්ධීන් කඩිනමින් දැනුම් දීමටත් 1981 සෘජු දුරකථන අංකය හඳුන්වාදීමට ද පියවර ගෙන ඇත.

පී. බී. හේමන්ත ජයසිංහ
අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය