• Rs.

පුෂ්ප වවා ගොඩ ගිය පුෂ්පලතා

ගෙවුයන අලංකාරය සඳහා වවනු ලබන විසිතුරු මල් සහිත ශාක මෙන්ම විසිතුරු පත්‍ර සහිත ශාක ද තිබේ. මේ අතරින් ඖෂධීය ගුණයෙන් යුත් එමෙන්ම මේ දිනවල වඩාත් කතාබහට ලක්වන වටිනාකම ඉහළ ගොස් ඇති කහ ශාකය ද ඒ සමඟම අමු ඉඟුරු ද විසිතුරු ශාකයන් සමඟ ගෙවුයන අලංකරණයට වගා කිරීමට හැකි නම් තමන්ගේ ගෙවත්තට අලුත් වටිනාකමක් ලැබෙනු ඇත. කැප්පෙටිපොළ තෙන්නකෝන්වෙල පුෂ්පලතා කාංගන මහත්මිය ඇන්තූරියම් මල් වගාව සමඟ කහ සහ අමු ඉඟුරු වගා කරමින් තමන්ගේ ගෙවත්තට අලංකාරයක් ලබා දෙන අතරම එමඟින් අමතර ආදායමක් උපයා ගනිමින් තමන්ගේ අතමිට සරු කර ගන්නීය. ඇන්තුරියම් පැළ 25න් මල් වගාවට පිවිස ඇති ඇය විදෙස් සංචාරයෙන් ලබා ගත් දැනුම ද භාවිතයට ගනිමින් අද වන විට කෘෂිකාර්මික තාක්ෂණය 100% ක්ම උපයෝගි කරගනිමින් ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් උසස් මල්පැළ නිෂ්පාදිකාවක් බවට ද පත්ව සිටින්නීය. එපමණකුදු නොව ඇය විසින් අලෙවි කරනු ලබන මල් පැළයකට තත්ත්ව සහතිකයක් ද ලබා දෙන අතර මල් වගා දැනුම ලබා දිමට ද කටයුතු කරන්නීය.

ඇන්තූරියම් මල් සමඟ මෙම ඖෂධීය ශාකයන් වගා කිරීමේ ක්‍රම වේදයන් සහ ඇය එම කර්තව්‍යයට අත ගැසුවේ කෙසේ දැයි ඇයගේම වචනවලින් අසා දැන ගනිමු.

"මම උපන්නේ කැප්පෙටිපොළ තෙන්නකෝන්වෙලයි. මගේ තාත්තා කේ. ඇම්. මුතුබණ්ඩා. ඔහු ගොවියෙක්. එන්. එම්. බණ්ඩාර මැණිකේ අම්මායි. මට සහෝදර සහෝදරියන් පස් දෙනෙක් ඉන්නවා. මම කැප්පෙටිපොළ මහා විදුහලෙන් හා බෝගහකුඹුර මහා විදුහලෙන් ඉගෙන ගත්තා. උසස් පෙළ විභාගයෙන් අනතුරුව නුවරඑළිය 'මරියාස්' පාසලෙන් රූපලාවන්‍ය ශිල්පය හා කේක් සැකසීමේ පාඨමාලාව වසර දෙකක කාලයක් ඉගෙන ගත්තා.

ඉන්පසු බෝගහකුඹුර නගරයේ රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කළා. මම ඌවපරණගම වලහාමුල්ල පදිංචී ගොවිජන සේවාවේ සේවය කළ චන්ද්‍රතිලක ජයසිංහ යන අය සමඟ විවාහ වුණා. අපිට දරුවන් දෙදෙනෙකු සිටිනවා.

මට ඇන්තුරියම් මල් වගා කරන්න අශාවක් ඇති වුණා. ඕනෑම දෙයක් වෙන්න කියා හිතා ගෙන මුලින්ම ඇන්තූරියම් පැළ 25ක් වගා කළා. එය ඉතාමත් සාර්ථක වුණා. මම කෘෂිකර්ම හා තාක්ෂණ දැනුම ලබා ගත්තේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ඒ. යෝගරාජා මහතාගෙන්. ඉන්පසු මම ඇන්තූරියම් මල් වගාවට පිවිසුණා.

 

පුෂ්පලතා කාංගන

මේ අතර සැමියා ද රැකියාවෙන් ඉවත්ව මගේ මල් මල් වගාව සාර්ථක කිරීමට ඉදිරිපත් වුණා. එයින් මම තවත් දිරිමත් වුණා. අපි දෙන්නා එක්ව මල් වගාව පුළුල් කළා. මල් වගාවේ නව තාක්ෂණ දැනුම යොදා ගනිමින් ඇන්තූරියම් මල් වගාව දිනෙන් දින දියුණු කර ගත්තා. මම බණ්ඩාරවෙල මල් වගාකරුවන්ගේ සංගමයේ සාමාජිකාවක් හැටියට තායිලන්තයේ සංචාරය කරමින් මල් වගාව පිළිබදව දැනුම තවත් වර්ධනය කර ගත්තා. අද වන විට නෙදර්ලන්තය හා තායිලන්ත යන රටවලින් ආනයන ඇන්තූරියම් ප්‍රභේද 80 ක් මා සතුව තිබෙනවා. මෙයට අමතරව විදෙස් අලංකාර පතොක් වර්ග 100 ක් පමණ තිබෙනවා. විදෙස් ඕකිඩ් වර්ග රාශියක් ද කැපුම් රෝස පැළ 3000 ක් පමණ ද තිබෙනවා. මම ඇන්තූරියම් වගා කරන්නේ දැල් නිවාස තුළයි. එසේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත වගා මාධ්‍ය භාවිතා කරමින් ඇන්තූරියම් පැළ නිෂ්පාදනය කරනවා. අපගේ මල් පැළ ගන්නා අයට මල් වගාව පිළිබඳව මම කියා දෙනවා. එසේම වගකීම් සහතිකයක් ද දෙනවා.

මම ඒකාබද්ධ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් පවත්වන ලද මල් වගා පුහුණු වැඩසටහනට සහභාගි වුණා. එම පුහුණුව ලබා ගැනිම නිසා මට මල් වගා පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑමට අනුමැතිය දුන්නා. ඒ අනුව මම දැන් එම පුහුණු පාඨමාලාව ආරම්භ කරලා එහි පුහුණු උපදේශිකාවක් ලෙසට කටයුතු කරනවා.

මම කාලයට අනුව වෙනස් වන ස්වයං රැකියා ලාභිණියක් බව කියන්න ඕනෑ. පසුගිය කාලයේ රජය පිටරටින් කහ ගෙන්වීම නතර කළා. මෙම කහ හිඟයට විසඳම් ලෙසට දේශිය අමු කහ වගාවට දායක වෙන්න හිතුවා. ඒ වගේම අමු ඉඟුරු වගාවටත් යොමු වුණා. මම මෙම වගා දෙකම උද්‍යාන අලංකරණයට භාවිත කළා. ඇත්තටම මෙම වගාවන් දෙකම කෙටිකාලීනව ගෙමිදුල අලංකරණයට පහසුවෙන් යොදාගත හැකියි. එම නිසා විශාල අතිරේක ආදායමක් පහසුවෙන් උපයා ගැනීමටත් හැකියාවක් ලැබෙනවා.

මෙවන් කාර්යබහුල ජීවිතයක් ගත කළත් නිවෙ සිටම මනාලියන් හැඩ ගැන්වීම හා විවිධ කේක් වර්ග නිෂ්පාදනයත් කරනවා. ඒ වගේම වැලිමඩ මල් වගාකරුවන්ගේ සංගමයේ ලේකම් ලෙසත් වැඩ කරනවා. ඉගෙන ගෙන රැකියා පෝලිමේ රැඳලා පසුතැවිලි වෙනවට වඩා යම් ස්වයං රැකියාවකට යොමු වීම ඉතාමත් කාලෝචිතයි. තමන් තෝරා ගන්න ස්වයං රැකියාව පිළිබඳව මනා දැනුක් ලබා තිබීම අනිවාර්ය කරුණක්. මල් වගාවට යොමු වන ඕනෑම කෙනෙකුට අවශ්‍ය දැනුම සපයා දෙන්නත් මම කිසිදු පැකිළීමකින් තොරව ඉදිරිපත් වෙනවා. මගේ එකම අරමුණ ප්‍රමිතියෙන් උසස් ගුණාත්මක මල් පැළ නිපදවා දිවයිනේ සාර්ථකම මල් වගාකරුවෙක් වීම."

මේ ආකාරයෙන් විසිතුරු මල් පැළ සමඟින් ඖෂධීය කුළුබඩු වැවීමෙන් නිවෙසේ පරිභෝජනයට මෙන්ම අතමිට සරු කර ගැනීමට ඔබට ද හැකි වනු ඇත.

කේ. ආර්. ආර්. රාජමන්ත්‍රී


Curtesy: Dinamina