• Rs.

අපේ තැඹිලි රස ලෝකයට ගෙන යන හරීන්ද්‍ර

අපේ රටේ වැවෙන තැඹිලි ගෙඩියට, කුරුම්බා ගෙඩියට වටිනාකමක් දෙන්න පුළුවන් නම් එය කොතරම් දෙයක් ද? තැඹිලි වතුර, කුරුම්බා වතුර බොන්න අපේ රටේ අය විතරක් නොවෙයි, පිටරට අයත් බොහොම කැමැතියි. දාහය නිවා ගැනීමට තිබෙන හොඳම සහ මිල අඩුම පානය තමයි තැඹිලි වතුර කියන්නේ. අනෙක එය ශක්තිජනක පානයක්. පාණදුර ප්‍රදේශයේ හරීන්ද්‍ර සමන්ප්‍රිය මහකුමාර මහතා අපේ රටේ හැදෙන තැඹිලි ගෙඩියේ වතුර පිටරට යවලා මෙරටට විදේශ විනිමය ගෙන ඒමට බොහෝ මහන්සි වන කෙනෙක්. ඒ වගේම තැඹිලි වතුර නරක් නොවී තබා ගන්නත් ඔහු ළඟ තිබෙන්නේ තාක්ෂණික ක්‍රම වේදයක්.

ඔබ කරන්නේ වෙනස් දෙයක්. කොහොම ද මේ තැඹිලි වතුර ස්වාභාවික විදියටම බෝතල් කරලා පිටරට යවන්නේ?

 

මම තැඹිලි වතුර බෝතල් කරලා ලෝකයේ රටවල් අටකට යවනවා. අමෙරිකාව, කැනඩාව, එංගලන්තය, ජර්මනිය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, හොංකොං සහ මාලදිවයිනට. තැඹිලි වතුර කල් තබා ගන්න කිසිවක් එකතු කරන්නේ නැහැ. හැබැයි එක දෙයක් කරනවා. ඒක මගේ තාක්ෂණයක්. ලෝකයේ කවුරු මේ වැඩේ කළත් මොනවා හරි දෙයක් මේකට කලවම් කරනවා. වතුර, සීනි වගේ දේවල් සහ පොදුවේ ආහාර කල් තබා ගන්න ඕනෑම දෙයක් දමනවා. ඒත් මගේ තැඹිලි වතුර එක ඕනෑම කෙනකුට රසායනාගාර පරීක්ෂණයක් කරලා බලන්න පුළුවනි, එහි තැඹිලි වතුර හැරෙන්න කිසිවක් නැහැ.

 

මේ ආකාරයටම කුරුම්බා වතුරත් බෝතල් කරලා පිටරට යවන්න පුළුවනි නේද?

 

මම මුලින්ම පටන් ගත්තේ කුරුම්බා වතුර බෝතල් කිරීම තමයි. ඒත් ශ්‍රී ලංකාවේ ගතානුගතික ක්‍රමයට බිහි වුණු නිලධාරීන් සිටිනවා. ඒ අය මේ වැඩේට අකුල් හෙළුවා. කුරුම්බා ගෙඩි කැඩුවාම ශ්‍රී ලංකාවේ පොල් අඩු වෙනවා කියලා. ඒත් ඒක තාර්කික නැති කිසිම පදනමක් නැති තර්කයක්. පොල් ගෙඩියක් හදන්න ගහට ශක්තිය අවුරුදු දෙකක් පමණ වැය කරන්න වෙනවා. කුරුම්බා ගෙඩියට මාස හයක්, මාස අටක් තමයි වැය වෙන්නේ. ශක්ති ප්‍රභවය ගත්තොත් කුරුම්බා ගෙඩියට වැය වන්නේ 25%යි. ඉතුරු 75%ම අමතර ශක්තියක් වැය කරන්න ඕනෑ පොල් ගහක් පොල් ගෙඩියක් හදන්න. මෙහෙම බැලුවාම ගහට 75%ක් ඉතුරු වෙනවා කුරුම්බා කැඩුවාම. ඒකෙන් පොල් ගහට පුළුවනි තවත් පොල් ගෙඩි තුනක් හදන්න. රා මදින පොල් ගහේ වැඩිපුර පොල් එන්නෙත් මේ වගේ තමයි.

 

බෝතල් කරන ලද තැඹිලි වතුරවලට තිබෙන ඉල්ලුම කොහොම ද?

 

ඇත්තටම හොඳයි. ඉල්ලුමට සැපයුම දෙන්න බැරි තරම් තිබෙනවා. ඒත් මුල් කලයේ නම් මට ගැටලු ගොඩක් තිබුණා. අපේ රටේ මින්ස්සුන්ගේ ආකල්පවල වැරැද්දක් නිසා. හරියට පහත් කිරීම්, රස්තියාදු කිරීම් සහ රැවටිලිවලට භාජනය කිරීම් වගේ දේට මට මුහුණ දෙන්න සිදු වුණා. ඒත් මම සැලුණේ නැහැ. අද වෙනකම් මම මේ වැඩේ කර ගෙන යනවා. ශ්‍රී ලංකාවේ සුපිරි වෙළෙඳසල්වලටත් මගේ මේ නිෂ්පාදන දානවා.

තව මොනව ද ඔබ මේ ආකාරයෙන් කරන්නේ?

 

මීට අමතරව මගේ තව නිෂ්පාදන නවයක් තිබෙනවා. අල්පොන්සු අඹ ජූස් එකක්, පැණි දොඩම්, පැෂන් ෆ්රුට් සහ කෝමාරිකා පානයන් හදනවා. මේවා කෑන් කරනවා. මේ හැම දෙයක්ම ස්වාභාවික විදියට තමයි තියෙන්නේ. කිසිම රසායනික දෙයක් මේවාට දමන්නේ නැහැ. ගෙදරදී බොනවා වගේ රස පානයක් විදියට බොන්න පුළුවනි. මිට අමතරව කොරෝනා ආවට පස්සේ ඉඟුරු-කොත්තමල්ලි පානයක් කෑන් එකක් විදියට නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. මම තමයි ශ්‍රී ලංකාවේ ස්වාභාවික පාන කෑන් කරන ක්‍රමය මුලින්ම පටන් ගත්තේ. තව නිෂ්පාදනයක් තිබෙනවා ශ්‍රී ලංකාවේ මුල්ම ශක්තිජනක පානයක්. ඒක ලෝකයේ ජනප්‍රියම ශක්තිජනක පානයට වඩා දෙගුණයක් ශක්තිය තිබෙනවා. ඒක තැඹිලි වතුර, දොඩම් ආදි දේවල්වල මිශ්‍රණයක්. තැඹිලි වතුරවලින් සෝඩා එකකුත් මම හදනවා.

 

ඔබගේ මේ නිෂ්පාදනවලට වැඩිපුර ඉල්ලුම තිබෙන්නේ මෙරට වෙළෙඳපොළේ ද? විදෙස් වෙළෙඳපොළේ ද?

 

මගේ නිෂ්පාදනවලින් සියයට 95ක්ම මම අපනයනය කරනවා. මේවායින් ලොකුම ඉල්ලුම තිබෙන්නේ තැඹිලි වතුර බෝතලේට.

 

තැඹිලි සහ අනෙක් පලතුරු වර්ග ඔබ සොයා ගන්නේ කොහෙන් ද?

 

මම ඉන්නේ ශ්‍රී ලංකාවේ වැඩිම සහ හොඳම තැඹිලි වැවෙන ප්‍රදේශයේ. පාණදුර, බණ්ඩාරගම, කළුතර, හොරණ, ඉංගිරිය වගේ ප්‍රදේශවල තමයි තැඹිලි හොඳට වැවෙන්නේ. ඒ ප්‍රදේශවලින් මට තැඹිලි ලැබෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ ඉඟුරු ගොවියො ඉන්නවා. ඒ අයගෙන් ඉඟුරු ගන්නවා. පැෂන් ෆ්රුට් වවන අයත් මෙහේ ඉන්නවා. බිබිල ප්‍රදේශයේ දොඩම් වවන අහිංසක ගොවි පිරිසක් ඉන්නවා. ඒ අයගෙන් මම දොඩම් ගන්නවා. බහුතරය ගන්නේ ගෘහාශ්‍රිතව වචන පලතුරු. කොත්තමල්ලි හැරුණාම මම පිටරටින් ගේන කිසිම දෙයක් ගන්නේ නැහැ. ඒ වගේම මේ ගොවියන්ට කේවල් කිරීමකින් තොරව හොඳම මිලක් මම ගෙවනවා. අපි හම්බ කරනවා වගේම වගා කරන අයගේ අතටත් කීයක් හරි යන්න ඕනෑ. ඒ අය මගේ රටේ මිනිස්සු.

 

හරීන්ද්‍ර සමන්ප්‍රිය මහකුමාර

 

මේ නිෂ්පාදන කටයුතු කෙරෙන්නේ කොහොම ද?

 

මුලින්ම මම තනියෙන් කුරුම්බා කඩාගෙන ඇවිත් මමම දෙයක් නිර්මාණය කළා. දැන් මට නිෂ්පාදනාගාරයක් තිබෙනවා; සේවක පිරිසක් සිටිනවා. මේ නිෂ්පාදනය වගේම මේ බෝතල් කවරවල ග්‍රැෆික් නිර්මාණ කටයුතුත් මගේ.

 

ඔබ මේ දෙවල් කරන විට මුහුණ දෙන

ගැටලු මොනවා ද?

 

කෙටියෙන් කිව්වොත් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයා කියන්නේ කරුමක්කාරයෙක්. ඒක උරුමයෙන් එන දෙයක්. අලුතින් හැදෙන ව්‍යවසායකයා උඩට ගේන ක්‍රමවේදයක් නැති එක ගැටලුවක්. මම යෝජනා කරනවා අපේ රටේ ව්‍යවසායකත්ව සංවර්ධන අරමුදලක් හදනවා නම් හොඳයි කියලා.

හරීන්ද්‍ර සමන්ප්‍රිය මහකුමාර මහතාගේ නිෂ්පාදන සම්බන්ධයෙන් ඕනෑම

උපදෙසක් ලබා ගැනීම සඳහා helacocoenergy@gmail.com

ඊ-මේල් ලිපිනය ඔස්සේ ඔහු හා සම්බන්ධ විය හැකියි.